පිලාකටුමුල්ල ශ්‍රී පුෂ්පාරාම පුරාන විහාරය ඇතුළු එම විහාර ගණයේ අධිපති ශ්‍යාමෝපාලි වංශික මහ නිකායේ මල්වතු මහ විහාර පාර්ෂවයේ උපාධ්‍යාය ධුරන්දර හලාවත පුත්තලම දෙපලාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජ්‍ය “විනයාචාර්ය’’ සද්ධර්ම කීර්ති ශ්‍රි පඤ්ඤානන්ද පඤ්ඤාසෝමාභිධාන නාහිමියන් වහන්සේ සිදු කළ හා සිදු කරනු ලබන ජාතික , ආගමික, ශාසනික මෙහෙය අගයා “ ශ්‍රී පඤ්ඤාසෝම නාහිමි ප්‍රශස්ථ පූජා “උපහාර පිදීමේ උත්සවය මාවිල ශ්‍රී සුමනකුසුමාරාම පුරාණ විහාරස්ථානයේ දී 2025.08.31 දින පැවැත්විණ..
පුත්තලම දිස්ත්‍රික් අමරපුර සංඝසභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, නාත්තන්ඩිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති පූජ්‍ය නාත්තන්ඩිය ,මොරකැලේ සෝභිත තිස්ස ස්වාමීන් වහන්සේ විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා නාත්තන්ඩිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි පුජ්‍ය හඳගනාවේ සරණධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සහ අනුශාසකත්වයෙන් පවත්වන ලදි.
මෙම උත්සවයට සමගාමීව ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පී සොයිලියස් මෙන්දිස් මැතිතුමාගේ 50 වන ගුණානුස්මරණය වෙනුවෙන් උපහාර පිදීමේ වැඩසටහනක් ද පවත්වන ලදි. මෙහිදි සොයිලියස් මෙන්දිස් අනුස්මරණ දේශනය පවත්වන ලද්දේ කලාගුරු සොයිලියස් මෙන්දිස් පදනමේ සභාපති ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ භාෂා පරිවර්තක ආනන්ද කරුණාරත්න මහතා විසිනි.
එමෙන්ම නාත්තන්ඩිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් දරුවන් සඳහා පවත්වන ලද සොයිලියස් මෙන්දිස් අනුස්මරණ චිත්‍ර තරඟයේ ජයග්‍රාහක දරුවන්ට සහතික හා ත්‍යාග ප්‍රධානය ද මෙහිදි සිදු කළේය.
මෙම උපහාර පිදීමේ උත්සවයට පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා ( රාජකාරි කාලසීමාව තුළ සහභාගී වු අවසන් වැඩසටහන) , නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් ගීතානි ජාන්ස මහත්මිය ඇතුළු නිලධාරින් , දහම් පාසල් ගුරුභවතුන්, දරුවන් සහ ප්‍රදේශවාසින් රැසක් සහභාගී විය.














