දින කිහිපයක සිට ඇදහැළෙන වර්ෂාව සමඟ ඇති වු තද සුළං සහ ජලගැලීම් හේතුවෙන් මහවැව, මාදම්පේ, නාත්තන්ඩිය , ආරච්චිකට්ටුව, වෙන්නප්පුව, පුත්තලම, දංකොටුව. හලාවත, මහකුඹුක්කඩවල හා මුන්දලම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් හි ග්රාමනිලධාරි වසම් 65ක පුද්ගලයින් 8582දෙනෙකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පැවසීය.පීඩාවට පත් වූ පවුල් සංඛ්‍යාව 2418කි.
මෙම අයවළුන්ගෙන් පවුල් 52ක පුද්ගලයින් 173 දෙනෙකු ඥාති නිවාසයන් හි රඳවා සිටිති. සුරක්ෂිත මධ්‍යස්ථාන දෙකක පවුල් 16ක පුද්ගලයින් 51 දෙනෙකු රඳවා සිටිති.ඔවුන් නාත්තන්ඩිය, කොක්කලමුල්ල දේවාලයේ සුරක්ෂිත මධ්‍යස්ථානයේ සහ නීග්‍රෝධාරාම විහාරස්ථානයේ සුරක්ෂිත මධ්‍යස්ථානයේ රඳවා ඇත.. නිවෙස්වල මුළුතැන්ගෙය ජලයෙන් යටවීම නිසා පිසු ආහාර සකස් කර ගත නොහැකි අයවළුන් සඳහා පිසූ ආහාර ලබා දීම ආපදා සහන සේවා නිලධාරින්ගේ මැදිහත්වීමෙන් සිදු කෙරෙන බව දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේය.
අද අළුයම සිට ඇද හැළුණු අධික වර්ෂාව නිසා හැමිල්ටන් ඇළ පිටාර ගැලීම හේතුවෙන් කුලියාපිටිය කොළඹ ප්‍රධාන මාර්ගයේ නාත්තන්ඩිය නගර සීමාව තුළ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී ගමනාගමනයට බාධා එල්ල වී තිබුණි.
එමෙන් ම අද පෙරවරුවේ දී පුත්තලම - කොළඹ දුම්රිය මාර්ගය හරහා (තිඹිල්ල ප්‍රදේශයෙ) ගස් කඩා වැටී තිබීම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල විය.








