මේ වනවිටත් පවතින වර්ෂාපතනය හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 අඩි 7 බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 39243 ක ජල ධාරිතාවක් නිකුත් කරමින් පවති.
එබැවින් මෙම තත්වය ඉතාමත් අවධානම්කාරී බැවින් ඉදිරි පැය කිහිපය තුළ වාරියපොළ, නිකවැරැටිය,මහව කොබෙයිගනේ, රස්නායකපුර, බිංගිරිය, පල්ලම, ආරච්චිකට්ටුව, සහ හලාවත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් දැදුරු ඔය නිම්නයේ ඇතුළු පහත් බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් කර තිබේ.
මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවට සහ ප්‍රදේශය හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ට දිස්ත්‍රික් ලේකම් H. M. S. P. හේරත් මහතා දන්වා සිටි යි.
එමෙන්ම මේ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා ලෙස වාරිමාර්ග අධ්‍යක්ෂවරයා කළමනාකරණ අංශවලින් ඉල්ලා සිටියි.

පහත් ප්‍රදේශවල අවදානම් සහිත ප්‍රජාව විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙස දිසාපතිතුමා දන්වා සිටි යි.

පවතින වැසි සහිත කාලගුණික තත්වය නිසා පුත්තලම දිස්ත්‍රික්කයේ මුන්දලම, වෙන්නප්පුව, කල්පිටිය, ආරච්චිකට්ටුව, මාදම්පෙ, පල්ලම, පුත්තලම, නාත්තන්ඩිය සහ වනාතවිල්ලුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරි වසම් 55 කට බලපෑම් සිදුව තිබේ. එම වසම් හි පවුල් 1893ක පුද්ගලයින් 6615 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පැවසීය.
පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 50ක පුද්ගලයින් 175 දෙනෙකු ඥාති නිවෙස් වල රඳවා සිටිති.
කල්පිටිය නාවක්කාඩු වසමෙහි අවහිර වී ඇති කාණු පද්ධතිය ආපදා සහන සේවා හදිසි ප්‍රතිචාර යටතේ පිරිසිදු කර ඇත.
රාත්‍රි 08.00 වන විට දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 6ක් අඩි 5 බැගින් සහ දොරටු 2ක් අඩි 3 බැගින් විවෘත කර ඇත. ඉන් තත්පරයට ඝන අඩි 25,250 ක ජල ධාරිතාවයක් දැදුරු ඔයට මුදා හැරෙන බවත් පහත් බිම්වල වෙසෙන ජනතාව අවධානම් තත්වය පහව යන තුරු දියනැම සහ වෙනත් ක්‍රියාකාරකම් නොකර ජිවිතාරක්ෂාව සලසා ගැනීමට කටයුතු කරන ලෙස ආරක්ෂක අංශ දන්වා සිටියි.








