ආරක්ෂිත වන සතුන්ගෙන් මහජනතාවට  සිදු වන හානි සඳහා වන්දි ‍ගෙවීම

ආරක්ෂිත වන සතුන්ගෙන් මහජනතාවට  සිදු වන හානි සඳහා වන්දි ‍ගෙවීමේ දිස්ත්‍රික් කමිටුව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කේ.ජී විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාල‍යේ දී 2021.08.02 දා පැවැත්විණි. මේ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ එම්. ජී එරන්ද ගමගේ මහතා, දිස්ත්‍රික් ආපදා කළමණාකරණ සහකාර අධ්‍යක්ෂ ජී.පී දිසානායක මහතා මෙන් ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් ආපදා සහන සේවා නිළධරී ධනුෂ්ක ජයසිංහ මහතා ද සහභාගී වුණා. 

වන අලි ඇතුළු ආරක්ෂිත වන සතුන් පහර දීමෙන් සිදුවන ජීවිත හානි/ ශාරීරික හානි/ දේපල හානි සඳහා ඉදිරිපත් වී ඇති වන්දි ඉල්ලීම්වලට කමිටු රැස්වීම් දී දිසාපතිතුමා විසින් අනුමැතිය ලබා දුන් අතර එසේ අනුමැතිය ලැබූ වන්දි ප්‍රතිලාභීන් ගණන 21කි.

පීඩාවට පත්වන මහජනතාවට සෑම විටම කඩිනමින් වන්දි ලබා දිය යුතු බවත් ,එම ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදු විය යුතු බවත් වැඩිදුරටත් දිසාපතිතුමා විසින් කමිටුවේ දී අවධාරණය කර කියා සිටින ලදි. 

 

Compensation for damages caused to the public by protected animals

The District Committee for Compensation for Damages to the Public from Protected Wildlife was held on 02.08.2021 at the Puttalam District Secretariat under the chairmanship of Puttalam District Secretary K.G Wijesiri. The Assistant Director of the Department of Wildlife Conservation Mr. G. Eranda Gamage, Assistant Director of District Disaster Management Mr. G.P Dissanayake as well as Mr. Danushka Jayasinghe, District Disaster Relief Services Officer of the District Secretariat were also present.

The Government Agent approved the claims for compensation for loss of life / bodily harm / property damage caused by attacking protected wildlife including wild elephants at the committee meetings and 21 beneficiaries received such compensation.

The Government Agent further emphasized in the committee that the affected people should always be compensated expeditiously and that the process should be carried out efficiently.

   2  3

   

පුත්තලම දිස්ත්‍රික්කයේ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘති පිළිබඳව දිසාපති කේ.ජි.විජේසිරි මහතාගේ නිරීක්ෂණයට.

වසවිසෙන් තොර ආහාර නිෂ්පාදන ක්‍රියාවලියක් තුළින් සෞඛ්‍යමත් මතුපරපුරක් බිහිකිරීමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්ම ක්‍රියාවට නංවමින් පුත්තලම දිස්ත්‍රික්කයේ කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කර තිබේ. දිස්ත්‍රික්කයේ දැනට සුළු පරිමාණ කාබනික පොහොර නිෂ්පාදකයින් 421දෙනෙකු හා මහා පරිමාණ නිෂ්පාදකයින් 99 දෙනෙකු හදුනාගෙන ඇත. එම කාබනික පොහොර නිෂ්පාදකයින් අතුරින් කිහිපදෙනෙකුගේ පොහොර නිෂ්පාදන ක්‍රියාවලීන් හා ඔවුන් මුහුණ දෙන ගැටළු පිළිබඳව විමසා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට දිස්ත්‍රික් ලේකම් කේ.ජි.විජේසිරි මහතා සහභාගී විය.
ඒ අනුව කල්පිටිය බේ ලංකා ආයතනය නිරීක්ෂණයෙහි ප්‍රතිළුලයක් ලෙස එම ආයතනයෙහි නිෂ්පාදිත කාබනික දියර පොහොර දිස්ත්‍රික්කයේ පොහොර අවශ්‍යතාවන්ට බෙදාහැරීමට එකඟතාවයට එළඹුණි. දැනට මෙම ආයතනයෙහි ලිටර් ලක්ෂ තුනක දියර පොහොර ගබඩාගතව තිබේ. මෙම ආයතනය දැනටමත් දියර පොහොර අලෙවි කරන ආයතනයකි.
මෙම නිරීක්ෂණ චාරිකාවේ තවත් ප්‍රතිළුලයක් ලෙස එම ආයතනයේ පිවිසුම් දොරටුවට අවහිරතාවයක් ව පැවති විදුලි සැපයුම් ආදාරක කණුවක් ඉවත් කර දෙන ලෙස එහි කළමනාකාරීත්වය විසින් කළ ඉල්ලිම කෙරෙහි ක්ෂණික අවදානය යොමු කළ දිස්ත්‍රික් ලේකම් විජේසිරි මහතා අදාල බලධාරීන්ට එය ඉවත් කරන ලෙස උපදෙස් දුන්නේය.
මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මදුරන්කුලිය හා හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුගුණුවටවන පිහිටි ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයන් හි ආරම්භ කර ඇති කාබනික පොහොර නිෂ්පාදනයන් තවදුරටත් විධිමත් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීම ද මෙම චාරිකාවේ දී සිදු විය. මෙම ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන 2021/22 මහ කන්නය සඳහා මෙට්‍රික්ටොන් සියයේ ඉලක්කගත කාබනික පොහොර නිෂ්පාදන ආයතන වේ.
නාත්තන්ඩිය දුන්කන්නාව පිහිටි වයඹ කොම්පෝස්ට් ආයතනය ජාතික පොහොර ලේකම් කාර්යලයෙහි ලියාපදිංචි දිවයිනටම පොහොර සැපයිමේ හැකියාව සහිත බලපත්‍රලාභී ආයතනයකි. දිස්ත්‍රික් ලේකම් කේ.ජි.විජේසිරි මහතාගේ මෙම චාරිකාවෙහි තවත් අරමුණක් වූයේ වයඹ කොම්පෝස්ට් ආයතනයේ නිෂ්පාදන දිස්ත්‍රික්කයේ පොහොර අවශ්‍යතාව සඳහා යොදා ගැනීමයි. මෙම ආයතනය මාසිකව පොහොර මෙට්‍රික් ටොන් හැටක නිෂ්පාදන වෙළද පොළට නිකුත් කිරීමේ හැකියාව සහිත ය. දියර පොහොර නිෂ්පාදනයට ද අපේක්ෂිත මෙම ආයතනය දිසාපතිවරයාගේ දිරිගැන්වීමට ලක් විය.
මෙම සංචාරයේ දී, වයඹ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් මාරවිල පිහිටුවා ඇති වාණිජ කොම්පෝස්ට් නිෂ්පාදන ආයතනයේ පණු දියර නිෂ්පාදනය පිළිබඳව ද දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි මහතා නිරීක්ෂණය කළේය.
2021/22 මහ කන්නයේ වගාවන්ට පුත්තලම දිස්ත්‍රික්කයෙහි කාබනික පොහොර භාවිත වගාවන් හි සමස්ථ පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් දෙලක්ෂ විසිහතර දහස් හත්සියයක් පමණ වේ.
මෙම නිරීක්ෂණ චාරිකාවට නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ බී.වී.ටී. ශ්‍යාමලි මහත්මිය, ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් ජි.කේ.එස්.පුෂ්පකුමාර මහතා, ජාතික පොහොර ලේකම් කාර්යාලය සහකාර අධ්‍යක්ෂ හේමන්ත දිසානායක මහතා, ලක්පොහොර සමාග‍මේහි ප්‍රාදේශීය කළමනාකරු, හලාවත සහ නාත්තන්ඩිය ප්‍රාදේශිය ලේකම්වරු, අදාල වසම් හි කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් හා ග්‍රාම නිලධාරීවරු සහ සම්බන්ධ වූහ.

2  11

10  6

අක්කර හැට තුනක පුරුදුවැල්ල පුරන් කුඹුරු යාය නැවත වගා කෙරේ

මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, කුඩාවැව ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයට අයත් වසර තිහකට අධික කාලයක් වගා කටයුතු කිරීමට නොහැකිවීම නිසා පුරන්ව ගිය අක්කර හැට තුනක වපසරියකින් යුත් “පුරුදුවැල්ල කුඹුරු යාය" නැවත වගා කිරීම ආරම්භ කර තිබේ.

අතහැර දමා තිබීම හේතුවෙන් මෙහි එරමිණියා කටුපදුරු හා ආක්‍රමණික ශාඛ බොහොමයක් වර්ධනය වි ඇත.
මෙම කුඹුරු යාය පසුගිය දා දිස්ත්‍රික් ලේකම් කේ.ජී.විජේසිරි මහතා නිරීක්ෂණය කළේය.

යායට ජලය ලබා ගැනීමේ අපහසුතාවය පිළිබඳව මෙහිදී ගොවීන් දිසාපති කේ.ජි.විජේසිරි මහතාට දැන්වූවා. කඩුපිටි ඔයෙහි ක්‍රමවත් ජල පාලනයක් නොමැති වීම හේතුවෙන් කුඹුරු යාය ජලයෙන් යට වී ගොයම විනාශ වීම මෙම කුඹුරු යාය අස්වැද්දවීම අතහැර දැමීමට ප්‍රධාන හේතුව වි තිබෙනවා.ඊට විසදුම් ලෙස “කෙටල ඔය අමුණ" ප්‍රතිසංස්කරණය කරන ලෙස දිසාපතිවරයා උපදෙස් ලබා දුන්නේ ය.
එමෙන්ම කුඹුරු යායට යාබදව පිහිටි, කැලයට අතහැර දමන ලද කුඹුරු ඉඩම් නොවන අක්කර 18ක පමණ භූමියෙහි පොල් හා වෙනත් භෝග වගාවන්ට යොමු වන ලෙස ද දිසාපති විජේසිරි මහතා වැඩිදුරටත් උපදෙස් දුන්නේ ය.

මෙම යාය අස්වැද්දවීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව රුපියල් එකොළොස් ලක්ෂ අනුහය දහසක ප්‍රතිපාදන වෙන් කර තිබේ.
හේමසිරි අබේකෝන් මහතාගේ සභාපතිත්වයෙන් පද්මිණි අධිකාරි මහත්මියගේ ලේකම් දූරයෙන් හෙබි පුරුදුවැල්ල ගොවි සංවිධානයෙහි ගොවීන්ගේ උනන්දුව පිළිබඳව දිසාපතිවරයාගේ විශේෂ ඇගයුමට ලක් විය.

එස්.එස්.රාමක්‍රිෂ්ණා මහතා කුඩාවැව කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීවරයා වේ. ඔහු 2018 වසරේ ගොවිජන අභිමන් තරගාවලියේ පුරන්කුඹුරු අස්වැද්දවීම තරගයෙහි රන්සම්මානලාභින්ගේ නියමුවා ය. (හලාවත ඉරණවිල වසම)

මෙම කුඹුරු යාය නිරීක්ෂණ අවස්ථාවට ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් ජි.කේ.එස්.පුෂ්පකුමාර මහතා, මහවැව ප්‍රාදේශීය ලේකම් එච්.එම්.නදීජා හේරත් මහත්මිය, ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරී ටී.එච්.එම්.එස්.අබේරත්න මහත්මිය, ග්‍රාමනිලධාරී එම්.ඒ.තිලිණි චතුරිකා මහත්මිය ඇතුළු නිලධාරීන් හා ගොවී සංවිධාන නියෝජිතයින් සහභාගී වූහ.

1  3

9  6